← News & Events

Project update

දුනුමඩලෑව එල්ලංගා පද්ධතියේ තිරසාර ජල කළමනාකරණයට පියවරක් – වැව් හඳුනාගැනීම හා ප්‍රතිසංස්කරණ අවශ්‍යතා පිළිබඳ සාමූහික සාකච්ඡාව සාර්ථකව පැවැත්වේ

September 2, 2026

ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (IRDCRP) යටතේ දුනුමඩලෑව එල්ලංගා පද්ධතියට අයත් වැව් හඳුනාගැනීම සහ ඒවායේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා පිළිබඳ සාමූහික සාකච්ඡාවක් දිනය - 2026.08.25 ඉහළ පුලියන්කුලම කුඹුක්වැව මාතෘ සායන මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව දුනුමඩලෑව එල්ලංගා පද්ධතියට අයත් වැව් හඳුනාගැනීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් ද සිදු කරන ලදී. එහිදී ගොවි සංවිධාන නියෝජිතයින්, ව්‍යාපෘති නිලධාරීන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැව් පද්ධතියේ පවතින තත්ත්වය සහ ප්‍රතිසංස්කරණය අවශ්‍ය අංග පිළිබඳව අවධානය යොමු කරන ලදී.
වැඩසටහන අතරතුර දුනුමඩලෑව එල්ලංගා පද්ධතියට අයත් වැව් 18ක් හඳුනාගෙන, ඒවායේ පවතින ප්‍රධාන ගැටලු සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා පිළිබඳ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් සාකච්ඡා කරන ලදී. ක්ෂේත්‍ර චාරිකාවෙන් අනතුරුව සිදු කරන ලද සාකච්ඡාවේදී අදාළ වැව්වල ප්‍රතිසංස්කරණය කළ යුතු අංග සිතියම්ගත කරමින් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය තොරතුරු හඳුනාගැනීමට පියවර ගන්නා ලදී.
මෙම අවස්ථාවේදී එල්ලංගා පද්ධතියේ නිල නාමකරණය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය. පෙර රඹාවැව එල්ලංගා පද්ධතිය ලෙස හඳුන්වා තිබූ මෙම වැව් පද්ධතිය, දුනුමඩලෑව එල්ලංගා පද්ධතිය ලෙස හඳුනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙම ක්‍රියාවලිය මඟින් එල්ලංගා පද්ධතියට අයත් වැව්වල පවතින ගැටලු ක්ෂේත්‍ර මට්ටමින් සහ ගොවි ජනතාවගේ සෘජු සහභාගීත්වයෙන් හඳුනාගෙන, ඒවාට ප්‍රමුඛතා අනුව ප්‍රායෝගික හා තිරසාර විසඳුම් සැලසුම් කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, එක් එක් වැව පමණක් වෙන් වෙන්ව සලකා බැලීම වෙනුවට, සමස්ත දුනුමඩලෑව එල්ලංගා පද්ධතියම ඒකාබද්ධ ජල කළමනාකරණ පද්ධතියක් ලෙස සලකා බැලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. ඒ මඟින් වැව් අතර පවතින සම්බන්ධතා, ජල ප්‍රවාහ පද්ධති සහ ගොවි ජනතාවගේ ජල අවශ්‍යතා ඒකාබද්ධව සලකා බැලීමට හැකි වනු ඇත.
අවසානයේදී, මෙම සහභාගීත්ව පදනම් වූ ක්‍රියාවලිය මඟින් ගොවි සංවිධාන, ව්‍යාපෘති නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කරමින්, දුනුමඩලෑව එල්ලංගා පද්ධතියේ තිරසාර ජල සම්පත් කළමනාකරණය සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම සඳහා වැදගත් පදනමක් සකස් කිරීමට මෙම වැඩසටහන දායක වනු ඇත.
Back to News