← News & Events

Project update

රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේද පිළිබඳ තෙදින පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්....

July 28, 2026

ඒකාබද්ධ ග්‍රාම නගර සහ දේශගුණික තත්වයට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සමඟ එක්ව සංවිධානය කළ රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේද පිළිබඳ තෙදින පුහුණු වැඩසටහන 2026 ජූලි මස 17, 18 සහ 19 යන දිනවල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන සඳහා දිවයින පුරා සිටින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතරමැදි කළමනාකරණ මට්ටමේ නිලධාරීන් 30 දෙනෙකු සහභාගි වූහ. පුහුණුවේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ නවීන නීතිරීති, ප්‍රායෝගික ක්‍රමවේද, ප්‍රසම්පාදන සැලසුම්කරණය, ටෙන්ඩර් ක්‍රියාවලිය, කොන්ත්‍රාත් කළමනාකරණය සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන පරිපාලනය පිළිබඳ ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමට අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහන මඟින් වාරිමාර්ග හා කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්ත හා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් ගොවි ජනතාවට සහ වාරි ක්ෂේත්‍රයට කඩිනම් හා ගුණාත්මක සේවාවක් සැපයීමටද දායකත්වයක් ලැබෙනු ඇත.
ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවේ මීළඟ අදියර ලෙස, දිවයින පුරා සිටින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් 50 දෙනෙකු සඳහා තවත් තෙදින පුහුණු වැඩසටහනක් 2026 අගෝස්තු මස 22, 23 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, වෘත්තීය කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින්, දේශගුණික ඔරොත්තුදීමේ හා වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති වඩාත් සාර්ථකව හා කාලෝචිතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවැනි පුහුණු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, වෘත්තීය කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින්, දේශගුණික ඔරොත්තුදීමේ හා වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති වඩාත් සාර්ථකව හා කාලෝචිතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඒකාබද්ධ ග්‍රාම නගර සහ දේශගුණික තත්වයට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය මෙවැනි පුහුණු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
Back to News